Showing posts with label ජීවිතේ. Show all posts
Showing posts with label ජීවිතේ. Show all posts

Wednesday, November 30, 2011

පොල් කුරුමිනියා


කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට පොල් ගේන්න වෙලා ය. අපේ වත්තේ මහා පොල් ගස් තුනක් ම තිබුන නමුත් මේ කාලකන්නියා ගස් 3ටම වැඩේ දීලා ය. මුලින් එච්චර ගනන්ගත්තේ නැති නිසා ගස් තුනටම කෙලවෙනකන් වැඩේ දැනුනේවත් නැත.

අන්තිම ගහටත් මූ විදින්න ඉස්සෙල්ලා පොරගේ වැඩ මාට්‍ටු වුනේය. වහාම ක්‍රියාත්මක වී දන්නා අයෙක්ගෙන් මූට ප්‍රතිකර්මයක් ඉල්ලූ විට කුඩු වගයක් දුන්නේ ය. ඒත් කිව්ව විදිහට වැඩේ කරන එක practical නැති බව තේරුනේ ගෙදර ආ පසු ය. ඒ කුඩ සබන් වතුරේ මිශ්‍ර කර ගහේ උඩ සිට පහලට ඉසින්නට උපදෙස් දුන් නමුත් එහෙම කරන්නට එක්කෝ ගුවන් හමුදාවේ සහය ගත යුතුය, නැත්නම් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් කෙනෙක්ට වැඩේ බාරදිය යුතුවිය. ගස් එච්චරටම උස ය. ඔය දෙකම හරිගියේ නැති තැන ගොඩ වෙදකමක් කරන්නට යැයි සිතා ගමේ පොල් කඩන සිරි අය්යියාට වැඩේ බාර දුන්නේය.

පොර ටිකක් විතර උස පිහියක් කටේ ගහගෙන පොල් ගසට නැග ශිල්ප දැක්වීය. පුදුමයකි, එකෙක් පිහියේ ඇනගෙන ජයග්‍රාහී ලීලාවෙන් ටික වෙලාවකින් පහලට බැස්සේ ය. මෙච්චර විනාසයක් කළ පොල් කුරුමිනියා හරියට දැක්කේ එතකොට ය. ඌ මහා පුදුම සතෙකි, පොල් ගස් තුනකටම වැඩේ දුන් නමුත් කාපුවා කොහෙන් ගියාදැයි දන්නේ නැත, සයිස් එක අඟල් දෙකක්වත් නැත. අන්තිමේ ඌ මරා වැඩේ close කළ  නමුත් ඒ වෙනකොටත් පොල් ගහට වෙන්න ඕන හරිය වී හමාර ය.

සිද්දිය එසේ වූ බැවින් දැන් අපි පොල් ගේන්නේ කඩෙනි. අපි වවමු රට නගමු ප්‍රතිපත්තිය ගානට කරගෙන ආ නමුත් පොල් කුරුමිනියා වැඩේ කෑවේ ය. සමහරු කියන විදිහට පොල් කුරුමිනියා විදේශීය බලවේගයක් වෙන්නට බැරි නැත. නැතම් ආණ්ඩුවෙ "අපි වවමු රට නගමු" ප්‍රතිපත්තිය කඩාකප්පල් කරන්න විපක්ශයෙන් කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විය හැකිය. ඒ කෙසේ වෙතත් අපට කෙලවී හමාර ය.

රටේ පොල් නැති වූ විට අපේ එවුන් ඒවා ආනයනය කිරීමට පුරුදු ව සිටිති, ඒත් මෙවැනි ගැටලු වලට පිළියම් යෙදුවේ නම් එසේ පිටරටට ගලායන විශාල මුදලක් ඉතිරිකරගත හැකිවනු ඇත. කළ යුත්තේ පොල් කුරුමිනියා විනාශ කිරීම ය. එසේ නොකර මේ ගැන තවත් කතාකර වැඩක් නැත. එබැවින් නවතිමි. රට පාලනය කරන උන්ට මෙවැනි ගැටලු පේන්නට දෘශ්ටි මානය (eye site එක) දියුණු වේවායි පතමි.



 

Google වලින් සොයාගත් පොල් කුරුමිනියෙක්..

Sunday, October 2, 2011

ඩයලොග් ජන්ජාලේ - ජංගම දුරකථන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වන්න

මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි කරන හැමෝටම මේ දේ වෙන්න පුලුවන්. මෙන්න මේකයි කතාව,

කරන්න වැඩක් නැතුව චාටර් වෙවී හිටිය දවසක නිකමට වගේ හිතුනා මොබ්යිල් එකෙන් #132# ගහල මගේ ලියාපදිංචි විස්තර බලන්න. ඔන්න ඉතින් #132# ගහල එන මෙනූ එකෙන් 1ත් ගහල බැලුවා, එන විදිහට නමයි ID number එකයි හරි. ඊලඟට පුලුවන්නෙ මගේ ID number එකෙන් තියෙන අනිත් සම්බන්දතා ටික බලන්න, නිකන් දෙන service එක නිසා ඒකත් බැලුවා... එතකොට තමා වැඩේ පත්තු වුනේ. මම ගත්තු ඩයලොග් නම්බර් 2 ට පස්සෙ තවත් නම්බරයක් තියෙනවනෙ මගේ නමට!!  දැන් තමා ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තෙ. කවුද දන්නෙ කවුරු මොනවට පාවිච්චි කරන නොම්බරයක් ද කියල!! වැරදිලාවත් පාවිච්චි කරන එකා ඒක ත්‍රස්තවාදී වැඩකට (කාටහරි ගේමක් දෙන්න එහෙම) පාවිච්චි කරපු එකක් නම් මටනෙ කෙලවෙන්නෙ! තියෙන්නෙ මගේ නමට නෙ!!

ටිකක් වෙලා ඉඳලා ගත්තා ඩයලොග් Cutomer care එකට කෝල් එකක්, ටිකක් විතර කාලෙ කාලා අනිත් පැත්තෙන් සෙට් වුන dialog නංගිට සම්පූර්ණ විස්තරේ කිව්වා.. කතාකරනකොට තේරෙනව එයාටත් වැඩේ අවුල් වගේ. මගෙන් දෙතුන් පාරක් ම ඇහුවා මම ගත්ත එකක් නෙවේමද... කියලා. මම ගත්තනම් ඉතින් අමතක වෙන්න විදිහක් නෑ නෙ! පස්සෙ බැරිම තැන එයා කියනව ලඟ තියෙන ඩිඅලොග් ආකේඩ් එකකට ගිහින් සීන් එක කියල බලන්න ලු.

පස්සෙ දවසෙ උදේ පාන්දර ම ගියා බො‍රැල්ලෙ ඩයලොග් එකට. ගිහින් සම්පූර්ණ සිද්දිය කිව්වා. ඒකෙ හිටිය අය මගේ ID එකත් ඉල්ලගෙන ඔක්කොම බලලා ආයෙත් අහනවා මම ගත්ත එකක් නෙවෙයි ම ද කියලා! උන් ඔක්කොටම නෑ... ම කිව්වට පස්සෙ ඒක disconnect කරන්න පුලුවන් කියලා කිවවා. තව ඒකෙ පාවිච්චි කරපු හැටි ගැන විස්තර දැනගන්න ඕනෙනං මරදානෙ තියෙන ඩයලොග් ආකේඩ් එකට යන්නත් කිව්වා. අපිට ඉතින් කරන්න වෙන වැඩ නෑ කියලා වෙන්න ඇති හිතනව ඇත්තෙ! කෝකටත් හොඳ නිසා මම කිව්වා ඒක ඩිස්කනෙක්ට් කරන්න කියලා. අනේ අපරාදෙ කියන්න බෑ එතන හිටිය අක්කා මගෙ ID එකත් අරගෙන සිම් එක ඩිස්කනෙක්ට් කරන්න තියෙන ෆෝම් එකේ ඔක්කෝම පුරවලා දුන්නා යට සයින් කරන්න. එහෙම දුන්නකියලා නිකන් අත්සන් කරන්න බෑ නෙ! මම ඒකෙ උඩ ඉඳලා පහලටම පුරවපු ටික කියවලා බැලුවා. ඔක්කොම හරියට තිබුනා ඒත් ඒකෙ තිබුනෙ මගේ නම නෙමෙයි. ඉතින් සයින් කරන්නෙ නැතුවම ෆෝම් එක ආයෙත් දුන්නා, එයා ඒක සිස්ටම් එකෙන් චෙක් කරලා කියනවා, මාර වැඩේ නෙ, සර්ගෙ ID number එකට තියෙන්නෙ මේ නමනෙ කියලා! මේක චෙක් කරද්දි මගේ ID එක තිබුනෙ එයා ලඟ, එතකොට තේරෙනවනෙ වෙලා තියෙන දේ!!

ඊට පස්සෙ ඉතින් head office එකට කතාකරලා සීන් එක ගැන හොයලා බැලුවා. බඩුම තමයි, මගේ ID number එකට තියෙන්නෙ වෙන නමක්! ඒ වුනාට #132# ගහලා බැලුවම මගේ නම ලස්සනට පෙන්නනවා මගේ නම්බර් දෙකයි අනිත් නොම්බරෙත් එක්ක. විනාඩි 10ක් විතර කට්ටිය කතාකරලා අන්තිමට මට කිව්වා head office එකට කිව්වා, ඒකෙන් කෙනෙක් කතාකරයි කියලා. එතකන් බය නැතුව ඉන්න කියලත් කිව්වා.

තවත් පැය දෙකකට විතර පස්සෙ ආව ඩයලොග් එකෙන් call එකක්. හලෝ මිස්ටර් **** ඉන්නවද කියල ඇහුවා (**** කිව්වෙ මගේ නම නෙමෙයි අර මගේ ID එකට දාල තිබුන නම). මම ඉතින් නෑ කියලා අවුල ලිහාගෙන විස්තරේ කිව්වා. පස්සේ මම ඩයලොග් එකෙන් ගත්ත connections ගැනයි තව මොනවද වගයක් ඇහුවා. අන්තිමට ඒ ගැන හොයලා බලන්නම් කියලා කෝල් කළ කෙනා තිබ්බා. තවත් පැයකට විතර පස්සෙ ඩයලොග් එකෙන් කතාකරලා කිව්වා වෙලා තිබුන ප්‍රශ්නෙ විසඳුවා, ඒ කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කළා කියලා. මම ආයෙත් #132# ගහලා බැලුවා. එතකොට නම් වැඩේ හරි, නොදන්න number එක අයින් වෙලා තිබුනා.

මේ සිද්දිය වෙලා මාසයක් විතර ගියාට පස්සෙ ආයෙත් ඩයලොග් එකෙන් කතාකළා. ඒ ගැන ඇතුලෙන් පරීක්ශණයක් කරනව ලු. අහනවා ඒකෙන් වුන අපහසුතා මොනවද, ඩයලොග් ගැන තිබුන ආකල්ප වෙනස් වුනාද, තවදුරටත් ඩයලොග් පාවිච්චි කරනවද.. වගේ දේවල්. මම ඉතින් හොඳට ලුනු ඇඹුල් ඇතුව කිව්වා... පස්සෙ මොනවා වුනාද දන්නෙ නෑ. ඒ වුනාට මේ ගැන Dialog එක කටයුතු කළ විදිහ ගැනත් සෑහීමකට පත්වෙන්න පුලුවන්. තිබුන වැරද්ද එක දවසෙන් හැදුවනෙ මාව එච්චර රස්තියාදු නොකර.

මේ සිද්දියෙන් පස්සෙ පුරුද්දක් විදිහට මම පාවිච්චි කරන ඩයලොග් සහ මොබිටෙල් සිම් දෙකේ ම registration details මාස දෙකකට සැරයක් වත් චෙක් කරලා බලනවා. මට එච්චර අවුලක් වුනේ නැති වුනාට ඒ නොදන්න සිම් එකෙන් වැරදි දෙයක් කරලා තිබ්බනම් මම තමයි ගස් යන්නෙ!! ඒ නිසා මේක කියවන අය හැම කෙනෙක්ටම කියන්න තියෙන්නෙ, තමන්ගෙ mobile connection එක ගැන අවදානයෙන් ඉන්න අමතක කරන්න එපා. ඩයලොග්, මොබිටෙල් වගේ මොන සම්බන්ධතාවක් පාවිච්චි කළත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්. දෙයක් වුනාම ඒ ගැන දුක්වෙනවට වඩා වෙන්න තියෙන දෙයක් වළක්වාගන්න එක නෙ හොඳ.

*********************

මේ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සටහනකින් හමුවෙමු.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...