Showing posts with label යාපනේ සංචාරය. Show all posts
Showing posts with label යාපනේ සංචාරය. Show all posts

Wednesday, March 10, 2010

A-9 පාර දිගේ යාපනයට... (2 කොටස)

2009.12 18 - මේ අපේ ගමනේ දෙවෙනි දවස. පෙර දවසෙ කතාකරගත්ත විදිහට සීනියර් ස්කවුට්ස්ලා පාන්දර 2.30ට විතර අහැරුනා. නිකන් නෙමේ, ඊයෙ සෙට් කරපු එලාම් වැදුනු නිසා.  (කියන්න බැරි වුනා නේ, පෙර දවසේ අපි කල්පනා කළා අද ගමනට අවශ්‍ය අපේ ආහාර අපිම උයාගන්න. හමුදා කඳවුරක ඉන්නකොට ඉතින් අපේ වැඩත් ටිකක් පෙන්නන්න ඕනනෙ..! ඒ වගේම ඒකට ඕන පහසුකම් අපිට සපයනවා කියලා කඳවුරේ අණදෙන නිළධාරීතුමා ඊයෙ අපිට කිව්වා) ඊට පස්සෙ කට්ටිය දත් මැදලා මූන හෝදලා එහෙම යුනිෆෝම් දාගෙන කඳවුරේ මුලුතැන්ගෙයි පැත්තට යන්න කියලා එලියට බැස්සා.

මාර සීන් එක. කවුරුත් දන්නෙ නෑ මේකෙ මුලුතැන්ගෙයි තියෙන තැන. ඒ මදිවට වෙලාවෙ හැටියට තැන අහගන්නවත් කවුරුත් ලඟපාත හිටියෙ නෑ. මොනව කරන්නද ඉතින්.. කවුරු හරි හම්බවෙයි කියල අපි ටිකක් එලියෙ ඇවිද්දා. ඒ වෙලාවෙ කොහේදෝ ඉඳලා දෙයියෙක් වගේ හමුදාවෙ කෙනෙක් පහළ වුනා. බැලින්නම් රෑ කඳවුරේ ආරක්ෂාවට හිටිය හමුදාවෙ අයියා කෙනෙක්. මුලින්ම අපේ අනන්‍යතාවය තහවුරු කරලා, එයාගෙන් පාර අහගෙන කලුවරේම කඳවුරේ මුලුතැන්ගෙට යන්න පුලුවන් වුනා. එතකොට වෙලාව පාන්දර 3.15ට විතර. අපේ ආහාර උයන්න ලෑස්ති වෙලා ගියාට අපි යනකොටත් එතන වැඩ පටන් අරන් අපේ ආහාර ඔක්කොම උයලත් ඉවරයි. මොනවා කරන්නද අපේ plan එක සම්පූර්ණයෙන්ම වතුරේ. අපිට තිබුනෙ ඒවා පාර්සල් කරන්න විතරයි(අපේ රණවිරුවන්ගෙ කාර්යක්ෂමතාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ!). අපි ඉතින් පොරවල් වගේ වැඩේ පටන්ගත්තට ඒකත් හිතුව තරම් ලේසි නෑ! අපි ඒ ටික පාර්සල් කරන්න උයන්න ගියාට වඩා වෙලා ගත්තලු.. !! ඒකත් ඉවර කරගෙන බස් එකට නගිද්දි පාන්දර 5.30 විතර වුනා.

කඳවුරෙන් පිට වෙලා ටිකක් දුර ඇවිත් එක හංදියක(පුලියන්කුලමෙ නැත්නම් රඹෑවෙ. කොහේද කියලා නම් හරියටම මතක නෑ) අපිට නැවතිලා ඉන්න වුනා හමුදාවෙ කොන්වෝයි එක එනකන්. කොන්වෝයි එකක් කියන්නෙ යුධ හමුදා ආරක්ෂාව යටතේ ගමන් කරන රථ පෙල කියන එකට. පාන්දරින්ම ආවට මොකද මෙතන පැයක් විතර ඉන්න වුනා. ඊට පස්සෙ බස් එකට ඩීසල් ගහලා එහෙම ආයෙත් ගමන පටන් ගත්තා. අපේ කොන්වෝයි එකේ තිබුනා බස් 50ක් විතර. අපේ බස් එක ඇරුනාම අනිත් ඔක්කොම බස් වල හිටියෙ යුධ හමුදාවෙ සෙබලු. ඒ සමහර බස් වල වෙඩි නොවදින ආරක්ෂක තහඩු සවිකරලා තිබුනා. කොන්වෝයි එකක යනකොට අපිට ඕන විදිහට යන්න බෑ.. ඔක්කොම බස් එක පේලියට පැයට කිලෝමීටර් 50ක විතර වේගෙන් යනවා.

උතුරු දුම්රිය මාර්ගය ඉදිකරමින්..

පැයක විතර ගමනකින් පස්සෙ මැදවච්චියට ලඟාවුනා. ආව වේගෙට බස් එකේ අන්තිම සීට් වල යන අයට හරි සනීපයි... එහෙම කියලා ඉතින් වේගෙ අඩු කරන්නත් බෑනෙ.. ! තවත් පැය එකහමාරකට විතර පස්සෙ වවුනියාවට යන්න පුලුවන් වුනා. වවුනියාවෙදි කොන්වෝයි එකේ බස් ටික නැවත පරීක්ෂා කරලා හරියට lineup කළා. ඊට පස්සෙ ගමන නම් හරිම අසීරුයි. පාරත් එච්චර හොඳ තත්වෙක තිබුනෙ නෑ. වැලි ගොඩැලි, ගෙවල්, පන්සල්, කෝවිල්, යුධ හමුදා බංකර් වගේ ගොඩාක් දේවල් පහුකරගෙන උදේ 9.30 ට විතර ඕමන්තෙයි යුධ හමුදා මුරපොලට ලඟා වුනා. අපි කොන්වොයි එකේ ආව නිසා කිසිම පරීක්ශාකිරීමක් නැතුව මුරපොල පසුකරන්න ලැබුනා. නැත්තම් පැය ගානක් එතන ඉඳලා check කරගෙන තමයි යන්න ඕන. මේ වගේ වරප්‍රසාද ලැබෙන්න වාසනාව තියෙන්න ඕන...

දැන් තියෙන්නෙ ඉස්සර LTTE එකෙන් පාලනය කරපු ප්‍රදේශ. ඕමන්තෙයි මුරපොලේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර සාමාන්‍ය විදිහට තිබුනා. ඊට පස්සෙ තනිකරම කැලෑව.  නමුත් පාරෙ ඉඳලා මීටර් 100ක් විතර දෙපැත්තටම කැලෑව එළි කරලා තිබුනා. ඒ ක්ලේමෝ බෝම්බ වලින් වෙන අනතුරු අවම කර ගන්න ලු. කැලෑව එළි කරපු සීමාව ඉවරවෙන තැන ඉඳලා දිගටම කහ පාට පටියක් ඇදලා තිබුනා, අර මිනී ඔලුවයි ඇටක‍ටු දෙකයි ඇඳලා mines කියලා ගහලා. ඒ වගේම හැම මීටර් 200 න් 200ට වගේ හමුදාවෙන් යොදලා තිබුනා පාරෙ ආරක්ශාවට. මේ ගමන යනකොට A9 පාර සාමාන්‍ය මගීන්ට විවුර්ත කරලා තිබුනේ නැති නිසා ඉදිවෙමින් පවතින යුධ හමුදා බංකර් ගොඩක් අපි දැක්කා. ගමනේ මුල් කොටසෙදි අතරමග ඉඳලාහිටලා ගරාවැටිච්ච ගෙවල්, ගොඩනැගිලි දකින්න තිබුනා, ඒත් බොහෝම කළාතුරකින්. හමුදාවෙ අපේ රණවිරුවො ඇරුනාම වෙන කිසිම සිවිල් කෙනෙක් අතරමග දකින්න ලැබුනේ නෑ. නමුත් මොණරු, හරක්, මුගටියො වගේ සත්තු නම් සෑහෙන්න දකින්න ලැබුනා.

හදිස්සියෙවත් වාහනයක් මේ අතරමග කැඩුනොත් එහෙම කරන්න කිසිම දෙයක් නෑ. යුධ හමුදාවෙ පිහිටම විතරයි. පැය 3ක් විතර ආවට පස්සෙ ඔන්න වවුනියාවෙ කළාප අධ්‍යාපන කාර්යාලය ලඟ බස් ටික නැවතුනා පොඩ්ඩක් විවේක ගන්න කියලා... එතකොට තමා දැක්කෙ අපි එක්ක තව කොච්චර පිරිසක් ආවද කියලා... පැය බාගයක් විතර එතැන කාලෙ කාලා ආයෙත් ගමන පටන්ගත්තා. එක පිම්මෙ පැය 2ක් විතර ගියාට පස්සෙ මාන්කුලමත් තවත් පැය 2කට විතර පස්සෙ කොකාවිල් නගරයත් පහු කරලා කිළිනොච්චියට ජනාවාස ප්‍රදේශයට ලඟාවුනා. LTTE එකේ සෙවිලි තහඩු හොරු කොයිතරම් හිටියද කියලා මේ පැත්තට ගියානම් බලාගන්න පුලුවන්! තියෙන හැම ගොඩනැගිල්ලකම වහලවල් ගලවලා. 5km විතර දුරකට තිබුන ඔක්කොම ගොඩනැගිලි වල වහලවල් නෑ...

ඒ වගේම ඉවරවුන යුද්ධයේ මතක සටහන් නම් මේ ගොඩනැගිලි වල සෑහෙන්න තිබුනා. සාමාන්‍යයෙන් එක බිත්තියක උණ්ඩ පාරවල් 100-200ක් විතර තිබුනා..... "අපි ආවා - 58th Brig" , "59th Brig TF" වගේ විජයග්‍රහනයක සටහනුත් අතරින් පතර ලොකු ගොඩනැගිලි වල අතින් ලියලා තිබුනා. මෙහෙම යද්දි කිළිනොච්චි නගරයටත් ආවා. ඒ වෙනකොට නගරයේ සංවර්ධන කටයුතු වල යෙදිලා ඉන්න අපේ රණවිරුවෝ බොහෝ දෙනෙක් දැකගන්න ලැබුනා. කිලිනොච්චි නගරෙ යුධ හමුදාවේ සුභසාධන අලෙවිසැල් කීපයක් ඇරුනාම වෙන කිසිම කඩයක් නෑ. (දැන් නම් තත්වෙ මීට වඩා වෙනස් ඇති) නගරයෙ ටික දුරක් ඉදිරියට ඇදෙනකොට ටිකක් අමුතු විදිහෙ ස්මාරකයක් දකින්න ලැබුනා.  ඒක තමා මේ තියෙන්නෙ,

බිත්තියක හිරවුන කාලතුවක්කු උණ්ඩයක්...(සජීවී ද නැත්නම් පස්සෙ හැදුවද කියලානම් දන්නෙ නෑ)

තවත් ටිකක් ඉස්සරහට යනකොට පහුගිය කාලෙ ටීවී, පත්තර වලින් දකින්න ලැබුන, කොටි විනාශ කරපු කිළිනොච්චි වතුර ටැංකිය තිබුනා. ඒකෙ සැබෑ ප්‍රමානය දැක්කම පුදුමත් හිතෙනවා කොහොම බිම දැම්මද කියලා. මේතැන බැහැලා බලන්න ආසාවක් තිබුනත් හමුදාවෙ කොන්වොයි එක ඇතුලෙන් යද්දි එහෙම නවත්තන්න බෑ. ඉතින් යන වේගෙටම fotos ටිකක් ගත්තා.

කොටි පාවිච්චි කරපු වාහන තියෙන අංගනයකුත් A9 පාරෙ යනකොට දකින්න තිබුනා. මේවා අතරේ බස්නාහිර පළාතෙ ලියාපදිංචි කරපු නොම්මර තියෙන වාහනත් තිබුනා. පහුගිය කාලෙ වාහනයක් නැති වුන කවුරුහරි මේ පැත්තෙ යනවනම් හොරා ගත්තු අය ගැන මේතැනින් හෝඩුවාවක් දැනගන්න පුලුවන් වෙයි...!!

තවත් පැයක විතර ගමනකින් පස්සෙ අලිමංකඩ තානායම ලඟට යන්න හැකි වුනා. තානායම තියෙනවද කියලා හරියට දන්නෙ නැති වුනාට තානායමේ බෝඩ් එක නම් පේන්න තිබුනා. එතැනම වගේ යුධ හමුදාවේ අලිමංකඩ ජයග්‍රහණය සිහිවෙන්න හදන ස්මාරකය.... (මේ වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරලා නෑ). මීට පස්සෙ තියෙන්නෙ අලිමංකඩ මුහුදු තීරය. කියන්න වචන නැති තරම් ඒ මුහුදු තීරය ලස්සනයි. මීටර් 20ක් විතර පලල තීරුවක තමා පාර තියෙන්නෙ. දෙපැත්තෙම මුහුද... කිලෝමීටර් 2ක් විතර ගියාට පස්සෙ යාපනේ අර්ගද්වීපය... නමුත් ඊට ටිකක් මෙහායින් තවත් ස්මාරකයක් තියෙනවා. ඒක ගැන දන්නවනේ...!
අලිමංකඩ විජයග්‍රහණයේ සංකේතය ඉදිකරමින්...

හසලක ගාමිණී නිසා නැවතුන කොටින්ගේ යුධ රථය...

ඔන්න ඉතින් අලිමංකඩ පහුකරලා යාපනේ අර්ගද්වීපයට ඇතුල්වුන ගමන් අපේ කොන්වෝයි එක නැවතුනා. අපි එක්ක එකට ආව හමුදා සෙබලු තමතමන්ගෙ සේනාංක වලට විසිරිලා යන්නේ මේතැනින්. ඉතින් දන්න හැමෝටම සුභ පතලා අපිට උදව් කළ හමුදාවෙ සියලුම නිළයන්වල රණවිරුවන්ට ස්තූති කරලා ඒ අයගෙන් සමුගත්තා. මේතැන ඉඳලා යාපනේට වෙනකම්ම ගමන තනියෙන්. විනාඩි 20කට විතර පස්සේ අපි තනියෙන්ම ගමන පටන්ගත්තා.... ඉතිරි හරිය මීලඟ ලිපියෙන් කියන්නම්. 

Sunday, February 28, 2010

A-9 පාර දිගේ යාපනයට ගියෙමි...

මේක ටිකක් පරන කතාවක්. හරියටම කිව්වොත් 2009 දෙසැම්බර් වලදි අපේ බාලදක්ෂ කණ්ඩායමේ යාපනේ සංචාරය ගැනයි මේ ලියන්න යන්නේ. කතාව පරන උනාට අත්දැකීම හරිම රසවත්. ඒ නිසයි ලියන්න හිතුවෙ.
මේ ගමන ගිය කාලෙ, ඒ කියන්නෙ 2009 දෙසැම්බ්ර් 16-20 වෙනකොට A9 පාර සාමාන්‍ය මගීන්ට විවුර්ත කරල තිබුනෙ නෑ. ඒකෙ යනවනම් ආරක්ෂක අමාත්‍යාංශෙන් විශේෂයෙන් අවසර ගන්න ඕන. මේක යාපනේ සහෝදර බාලදක්ෂයන්ගෙන් අපිට (ඒ කියන්න නාලන්දෙ ස්කවුට්ස්ලට) ලැබුනු ආරාධනයක් නිසා අපට අවසර ගන්න ඒ තරම් අමාරු වුනේ නැතිලු.

කාලය වේගයෙන් ගතවෙද්දි මාස ගානක් බලාගෙන හිටිය 2009.12.16 වෙනිදා උදාවුනා. ඔන්න ඉතින් නාලන්දෙ බාලදක්ෂයො ටික යාපනේ යන්න කියලා පාන්දරින්ම ඉස්කෝලෙන් පිටත් වුනා, පළවෙනි දවසෙ අපේ ගමනාන්තය වුනේ අනුරාධපුර කැලැත්තෑව යුධ හමුදා කඳවුර. A9 පාරේ තත්වයත් ගමනේ දුරත් නිසා කොළඹ ඉඳලා යාපනයට එක දවසෙන් යන්න අමාරුයි. ඒ නිසා තමයි පළවෙනි දවසෙ අනුරාධපුරේ නැවතිලා ඊට පස්සෙ දවසෙ යාපනේට යන්න සැලසුම් කරලා තිබුනේ.

ඔය යන අතරමග කට්ටිය සිංදු කිව්වෙ, කාඩ් ගැහුවෙ එහෙම නෑ ඉතින්... (ගමන අතරමගත් හරි හරි දේවල් වුනා!! ඒවා මාතෘකාවට අදාළ නැති නිසා වැඩිය විස්තර කරන්න බලාපොරොත්තුවක් නෑ) කොහෙන් කොහොම හරි හවස 3.00 විතර වෙනකොට එතෙන්ට යන්න අපිට හැකි වුනා. ඒ වෙනකොට ටිකක් විතර පොද වැස්ස. අපි කවුරුත් බලාපොරොත්තු නොවුන පුංචි පිළිගැනීමේ උත්සවයක් කැලැත්තෑව යුධ හමුදා කඳවුරේ සංවිධානය කරලා තිබුනා. මුලින්ම කඳවුරේ අණදෙන නිළධාරී තුමා අපව ඇමතුවා. එතකොට තමයි දැනගන්න ලැබුනේ එතුමත් ජනාධිපති බාලදක්ෂයෙක් බව. තමන්ගේ පාසල් කාලෙ බාලදක්ෂයෙක් විදිහට ලබපු අත්දැකීම් ගැනත් යුධ හමුදාවෙදි ඒ අත්දකීම් ප්‍රයොජනවත් වුන විදිහ ගැනත් මතක් කරලා මේ හමුදා කඳවුර ගැන පොඩි විස්තරයකුත් එතුමා කළා.. මේ අතරේ අපිට පොඩි සංග්‍රහයකුත් ලැබුනා.


ඊට පස්සෙ අපිට අවස්ථාව ලැබුනා මේ රෙජිමේන්තුවට අයිති සන්නද්ධ රථ (යුධ ටැන්කි) බලන්න යන්න. කඳවුරේ වුනාට ඒකට ටිකක් දුර බස් එකෙන් යන්න වුනා. නිකන් වාහන නෙමෙයිනෙ, සන්නද්ධ රථ. ඒ නිසා දැඩි ආරක්ශාවක් ඒ අවට ප්‍රදේශයට දීල තිබුනා. මුලින්ම T55 වර්ගයේ යුධ ටැංකියක් ගැන විස්තර දැනගන්න ලැබුනා. ඊට පස්සෙ සාමන්‍ය යුධ ටැන්කි ගැන.. සන්නද්ධ රථයක් පදවන්නෙ කොහොමද, නඩත්තු කරන විදිහ, අවි පාවිච්චි කරන හැටි, වෙඩි බලය ගැන මෙතනදි දැනගන්න ලබුනා. පස්සෙ T55 යුද ටෑංකියකට නගින්නත් ලැබුනා... මේක හසුරුවන්න තියෙන අමාරුව එතකොට තමා දැක්කේ.


මේ තියෙන්නෙ T55 ටැංකියෙ රියදුරු ආසනේ. මේක හරියට බැරල් එකක් ඇතුලෙ ඉඳලා drive කරනවා වගේ. පහුගිය යුද්ධ කාලෙ අපේ රණවිරුවෝ කොච්චර කට්ටක් කෑවද කියලා ඒකෙන්ම තේරෙනවා.. මමත් ඇතුලට බැහැලා බැලුවා.... ඇතුලෙ හෙලවෙන්නවත් ඉඩක් නැ. හිරවෙන්නෙ නැතුව එලියට ආවෙ බොහොම අමාරුවෙන්.


මේ T55ක ප්‍රධාන අවිකරු ගේ කුටිය.(සිංහළ වචනෙ හරිද දන්නෙ නෑ!) මේකත් අර වගේම තමයි. මේ වගේ ටැංකියක් මෙහෙයුමකට යනකොට තුන් දෙනෙක් යනවලු, තුන් වෙනි කෙනා මේකෙ වම් පැත්තෙ තියෙනෙ ගුවන් නාශක අවිය භාරව කටයුතු කරනවලු. යුධටැංකි වලට සම්බන්ධ කරන අවි ගැනත් මේ අතරේ දැනගන්න ලැබුනා.
මේ වගේ අත්දැකීම් ඉතින් කවදා ලබන්නද.. මේ සඳහා අපට උදව් කළ යුධ හමුදාවෙ සෑම අයෙක්ටම ස්තූතිවන්ත වෙන්න ඕන.

සන්නද්ධ රථ බැලුවට පස්සෙ හමුදා සෙබලුන්ගෙ අදීක්ශනය යටතේ පුරෝගාමි වැඩ ටිකක් ඉගෙනගන්න ලැබුනා. කඳවුරේ පිට්ටනිය වටේ වට දෙකක් විතර දුවලා කඹයක් දිගේ හරහට ගිහින් physical පොඩ්ඩක් හදාගන්න මටත් පුලුවන් වුනා. කොහොම නමුත් කඹයක් දිගෙ හරහට ගමන් කරන නිවැරදි, ලේසිම ක්‍රමය මෙතනදි තමයි ඉගෙන ගත්තේ. අපේ වචන වලින් "පුරෝගාමී වැඩ" කියල හදුන්වන මේවගේ වැඩ වලට හමුදාවෙදි "බාධක තරනය" කියලා ලු කියන්නෙ.! ඒ training session එක ඉවර වුනේ හවස 6.30ට විතර, ඒ වෙනකොට වටින් ගොඩින් අඳුරත් වැටිලා. ඊට පස්සෙ කට්ටිය නාලා එහෙම ‍රැ අපේ සුපුරුදු කඳවුරු ගිනිමැළයට ලෑස්ති වුනා. (අපේ ගිණිමැළ ගැන මම මීට ඉස්සෙල්ලා ලිපියක් ලිව්වා. ඒ නිසා මෙතැනදි වැඩිය ඒ ගැන කියන්නෙ නෑ) හැබැයි මේක ටිකක් වෙනස්. මෙතැනදි අපිට දැනගන්න ලැබුනා හමුදාවෙ ගිණිමැළ සම්ප්‍රධාය ගැන. ඒක අපිට වඩා ටිකක් වෙනස්. ගිණිමැළයත් හරිම විනොදජනක විදිහට ඉවර කළා. පස්සෙ ගිණිමැළ භූමියෙදිම රාත්‍රී ආහාරය ගන්නත් ලැබුනා.

එදා රෑ අපිට නිදාගන්න ලැබුනෙ පුහුණුවන කෙඩෙට් නිළදාරීන් වෙනුවෙන් හදලා තිබුන සයනාගාරයක. ගමනේ මහන්සිය නිසා කට්ටිය හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. ඒ නිසා ඉක්මනටම හෙට අවශ්‍ය වෙන සපත්තු එහෙම පොලිෂ් කරගෙන මීට ඉස්සෙල්ලා කවදාවත් අඩිය තියලා නැති යාපනේට වෙනකම් යන ගමන ගැන හීන දැක දැක නින්දට ගියා.

P.S -ගමනේ දෙවෙනි දවසෙ තිබුනෙ අනුරාධපුරේ ඉඳලා යාපනයට යන්න.. ඒ කියන්නෙ මේ කතාවෙ හොඳම හරිය. ඒ ගැන මගේ මීලඟ ලිපියෙන් කියන්නම්. ඒක මේ සතිය අන්තිමට(දවස් 7ක් ඇතුලත) දාන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ටිකක් ඉවසන්න වෙයි..!! 

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...