Showing posts with label සමාජයීය. Show all posts
Showing posts with label සමාජයීය. Show all posts

Sunday, October 2, 2011

ඩයලොග් ජන්ජාලේ - ජංගම දුරකථන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වන්න

මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි කරන හැමෝටම මේ දේ වෙන්න පුලුවන්. මෙන්න මේකයි කතාව,

කරන්න වැඩක් නැතුව චාටර් වෙවී හිටිය දවසක නිකමට වගේ හිතුනා මොබ්යිල් එකෙන් #132# ගහල මගේ ලියාපදිංචි විස්තර බලන්න. ඔන්න ඉතින් #132# ගහල එන මෙනූ එකෙන් 1ත් ගහල බැලුවා, එන විදිහට නමයි ID number එකයි හරි. ඊලඟට පුලුවන්නෙ මගේ ID number එකෙන් තියෙන අනිත් සම්බන්දතා ටික බලන්න, නිකන් දෙන service එක නිසා ඒකත් බැලුවා... එතකොට තමා වැඩේ පත්තු වුනේ. මම ගත්තු ඩයලොග් නම්බර් 2 ට පස්සෙ තවත් නම්බරයක් තියෙනවනෙ මගේ නමට!!  දැන් තමා ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තෙ. කවුද දන්නෙ කවුරු මොනවට පාවිච්චි කරන නොම්බරයක් ද කියල!! වැරදිලාවත් පාවිච්චි කරන එකා ඒක ත්‍රස්තවාදී වැඩකට (කාටහරි ගේමක් දෙන්න එහෙම) පාවිච්චි කරපු එකක් නම් මටනෙ කෙලවෙන්නෙ! තියෙන්නෙ මගේ නමට නෙ!!

ටිකක් වෙලා ඉඳලා ගත්තා ඩයලොග් Cutomer care එකට කෝල් එකක්, ටිකක් විතර කාලෙ කාලා අනිත් පැත්තෙන් සෙට් වුන dialog නංගිට සම්පූර්ණ විස්තරේ කිව්වා.. කතාකරනකොට තේරෙනව එයාටත් වැඩේ අවුල් වගේ. මගෙන් දෙතුන් පාරක් ම ඇහුවා මම ගත්ත එකක් නෙවේමද... කියලා. මම ගත්තනම් ඉතින් අමතක වෙන්න විදිහක් නෑ නෙ! පස්සෙ බැරිම තැන එයා කියනව ලඟ තියෙන ඩිඅලොග් ආකේඩ් එකකට ගිහින් සීන් එක කියල බලන්න ලු.

පස්සෙ දවසෙ උදේ පාන්දර ම ගියා බො‍රැල්ලෙ ඩයලොග් එකට. ගිහින් සම්පූර්ණ සිද්දිය කිව්වා. ඒකෙ හිටිය අය මගේ ID එකත් ඉල්ලගෙන ඔක්කොම බලලා ආයෙත් අහනවා මම ගත්ත එකක් නෙවෙයි ම ද කියලා! උන් ඔක්කොටම නෑ... ම කිව්වට පස්සෙ ඒක disconnect කරන්න පුලුවන් කියලා කිවවා. තව ඒකෙ පාවිච්චි කරපු හැටි ගැන විස්තර දැනගන්න ඕනෙනං මරදානෙ තියෙන ඩයලොග් ආකේඩ් එකට යන්නත් කිව්වා. අපිට ඉතින් කරන්න වෙන වැඩ නෑ කියලා වෙන්න ඇති හිතනව ඇත්තෙ! කෝකටත් හොඳ නිසා මම කිව්වා ඒක ඩිස්කනෙක්ට් කරන්න කියලා. අනේ අපරාදෙ කියන්න බෑ එතන හිටිය අක්කා මගෙ ID එකත් අරගෙන සිම් එක ඩිස්කනෙක්ට් කරන්න තියෙන ෆෝම් එකේ ඔක්කෝම පුරවලා දුන්නා යට සයින් කරන්න. එහෙම දුන්නකියලා නිකන් අත්සන් කරන්න බෑ නෙ! මම ඒකෙ උඩ ඉඳලා පහලටම පුරවපු ටික කියවලා බැලුවා. ඔක්කොම හරියට තිබුනා ඒත් ඒකෙ තිබුනෙ මගේ නම නෙමෙයි. ඉතින් සයින් කරන්නෙ නැතුවම ෆෝම් එක ආයෙත් දුන්නා, එයා ඒක සිස්ටම් එකෙන් චෙක් කරලා කියනවා, මාර වැඩේ නෙ, සර්ගෙ ID number එකට තියෙන්නෙ මේ නමනෙ කියලා! මේක චෙක් කරද්දි මගේ ID එක තිබුනෙ එයා ලඟ, එතකොට තේරෙනවනෙ වෙලා තියෙන දේ!!

ඊට පස්සෙ ඉතින් head office එකට කතාකරලා සීන් එක ගැන හොයලා බැලුවා. බඩුම තමයි, මගේ ID number එකට තියෙන්නෙ වෙන නමක්! ඒ වුනාට #132# ගහලා බැලුවම මගේ නම ලස්සනට පෙන්නනවා මගේ නම්බර් දෙකයි අනිත් නොම්බරෙත් එක්ක. විනාඩි 10ක් විතර කට්ටිය කතාකරලා අන්තිමට මට කිව්වා head office එකට කිව්වා, ඒකෙන් කෙනෙක් කතාකරයි කියලා. එතකන් බය නැතුව ඉන්න කියලත් කිව්වා.

තවත් පැය දෙකකට විතර පස්සෙ ආව ඩයලොග් එකෙන් call එකක්. හලෝ මිස්ටර් **** ඉන්නවද කියල ඇහුවා (**** කිව්වෙ මගේ නම නෙමෙයි අර මගේ ID එකට දාල තිබුන නම). මම ඉතින් නෑ කියලා අවුල ලිහාගෙන විස්තරේ කිව්වා. පස්සේ මම ඩයලොග් එකෙන් ගත්ත connections ගැනයි තව මොනවද වගයක් ඇහුවා. අන්තිමට ඒ ගැන හොයලා බලන්නම් කියලා කෝල් කළ කෙනා තිබ්බා. තවත් පැයකට විතර පස්සෙ ඩයලොග් එකෙන් කතාකරලා කිව්වා වෙලා තිබුන ප්‍රශ්නෙ විසඳුවා, ඒ කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කළා කියලා. මම ආයෙත් #132# ගහලා බැලුවා. එතකොට නම් වැඩේ හරි, නොදන්න number එක අයින් වෙලා තිබුනා.

මේ සිද්දිය වෙලා මාසයක් විතර ගියාට පස්සෙ ආයෙත් ඩයලොග් එකෙන් කතාකළා. ඒ ගැන ඇතුලෙන් පරීක්ශණයක් කරනව ලු. අහනවා ඒකෙන් වුන අපහසුතා මොනවද, ඩයලොග් ගැන තිබුන ආකල්ප වෙනස් වුනාද, තවදුරටත් ඩයලොග් පාවිච්චි කරනවද.. වගේ දේවල්. මම ඉතින් හොඳට ලුනු ඇඹුල් ඇතුව කිව්වා... පස්සෙ මොනවා වුනාද දන්නෙ නෑ. ඒ වුනාට මේ ගැන Dialog එක කටයුතු කළ විදිහ ගැනත් සෑහීමකට පත්වෙන්න පුලුවන්. තිබුන වැරද්ද එක දවසෙන් හැදුවනෙ මාව එච්චර රස්තියාදු නොකර.

මේ සිද්දියෙන් පස්සෙ පුරුද්දක් විදිහට මම පාවිච්චි කරන ඩයලොග් සහ මොබිටෙල් සිම් දෙකේ ම registration details මාස දෙකකට සැරයක් වත් චෙක් කරලා බලනවා. මට එච්චර අවුලක් වුනේ නැති වුනාට ඒ නොදන්න සිම් එකෙන් වැරදි දෙයක් කරලා තිබ්බනම් මම තමයි ගස් යන්නෙ!! ඒ නිසා මේක කියවන අය හැම කෙනෙක්ටම කියන්න තියෙන්නෙ, තමන්ගෙ mobile connection එක ගැන අවදානයෙන් ඉන්න අමතක කරන්න එපා. ඩයලොග්, මොබිටෙල් වගේ මොන සම්බන්ධතාවක් පාවිච්චි කළත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්. දෙයක් වුනාම ඒ ගැන දුක්වෙනවට වඩා වෙන්න තියෙන දෙයක් වළක්වාගන්න එක නෙ හොඳ.

*********************

මේ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සටහනකින් හමුවෙමු.

Sunday, May 29, 2011

පරන්තන් සිට සුන්දර මුලතිවු නගරයට ගියෙමි

මීට ටික දවසකට ඉස්සෙල්ලා මුලතිවු, පුදුකුඩුඉරිප්පු පැත්තෙ චාරිකාවක් යන්න කණා චාන්ස් එකක් සෙට් වුනා, ඒ ගමනේ අත්දැකීම් අනුවයි මේ ලිපිය ලියන්නෙ,

ගමන පටන්ගත්තෙ පහුගිය 12 වෙනිදා පාන්දර 5ට විතර, දීර්ග ගමනකට පස්සෙ දවල් 10 විතර වෙනකොට ඕමන්තේ යුද හමුදා මුරපොලට යන්න පුලුවන් උනා, එතනින් ලියාපදින්චි වෙලා මාන්කුලම්, කොකාවිල්, ඉරනමඩු පහුකරලා දවල් 11.30 විතර වෙනකොට කිලිනොච්චියට යන්න පුලුවන් උනා. 2009 දෙසැම්බර් වල යාපනේ යද්දි තිබුන කිලිනොච්චි නගරය මේ වෙනකොට සැහෙන්න දියුනු වෙලා, ලොකු වෙනසක් දකින්න තිබුනා.

කිලිනොච්චියෙ ඉඳලා කිලෝමීටර් 11ක් විතර ගමන්කළාම පරන්තන් නගරයට යන්න පුලුවන්, ඒ වෙනකල් A9 පාරෙ ගමන්කල අපි, පරන්තන් වලින් දකුණට හැරිලා A35 පාරෙ යන්න වුනා... A35 පරන්තන්-මුලතිවු ප්‍රදාන පාරක් උනාට තාම තාර දාලා නෑ. යුද්දයෙන් පස්සෙ මේ පාර දෙපැත්තෙ ප්‍රදේශ වල ජනතාව පදින්චි කරලා තවමත් මාස 4ක් විතර නිසා මේ ප්‍රදේශ තවමත් සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත්වෙලා නෑ.

තාර නැති A32 පරන්තන් මුලතිවු මාර්ගය..
ටිකෙන් ටික මිනිස්සු ඉන්න ප්‍රදේශ පහුකරලා තවමත් හරියට බිම්බෝම්බ ඉවත්කරලා නැති යුදහමුදාව පාලනය කරන ප්‍රදේශ හරහා ඉදිරියට ගියා, එක්තරා යුදහමුදා මුරපොලකදී (තැන කොහෙද කියලා මතක නෑ) අපෙ අවසර පත්‍ර පරික්ශා කරලා ඉදිරියට යන්න වුනා, මෙතැනින් එහාට හමුදාව යටතේ පවතින නගර වලට යන්න ජාතික ආරක්ශක අමාත්‍යාංශෙන් අවසර අරන් තියෙන්න ඕනෙ. යුද්දයේ අන්තිම දවස් වල LTTEයෙන් කට්ටපරිච්චාන් වැව් බැම්ම පිපිරෙව්වාම ඒ වැවේ වතුර ඇවිත් හිරවෙලා පවතින පොඩි ප්‍රදේශයක් තාමත් තියෙනවා, A35 පාර යන්නෙ ඒ උඩින්, නමුත් මේ ටිකෙ මීටර් 200ක් විතර වතුරෙන් යටවෙලා නිසා ඒ වෙනුවට ඊට උඩින් අලුත් පාරක් කපලා තියෙනවා. අපිටත් යන්න වුනේ ඒ අලුත් පාරෙන්.

මේ අතරමග යුද්දයෙන් ඉතිරිවෙච්ච සළකුණු සෑහෙන්න තියෙනවා, අතඇරලා දාපු වාහන, උණ්ඩ සලකුණු වලින් පිරුනු ගොඩනැගිලි වගේ තවත් බොහෝ දේවල්, ඒ මදිවට බිම් බෝම්බ..

තැන තැන විසිරුනු දිරාපත්වෙමින් පවතින වාහන
මේවැනි වාහන බොහෝමයක් මුලතිවු මාර්ගය දෙපස දිරාපත් වෙමින් පවතී.
මේ යායේ බයිසිකල් කොපමන ඇත්ද?
ඉදිරියට යන්න යන්න තිබුන ගොඩනැගිලි වලට වෙලා තිබුන හානිය වැඩියි, ගොඩාක් ගෙවල්, පල්ලි වගේ ගොඩනැගිලි වල ඉතුරු වෙලා තිබුන බිත්ති කිසිම විදිහකට නැවත පාවිච්චි කරන්න බැරිවෙන තරමටම විනාශ වෙලා, කෙටියෙන්ම කිව්වොත් මේ ප්‍රදේශයේ තියෙන සියලුම ගොඩනැගිලි නැවත මුල ඉඳල හදන්න වෙන තරමටම විනාශ වෙලා. ඔහොම ගිහින් පුදුකුඩුඉරිප්පු නගරයට ආවා...

ඉවරවුන යුද්දයෙන් වෙච්ච වැඩිම හානිය වෙලා තියෙන්නෙ පුදුකුඩුඉරිප්පු නගරයට වෙන්න ඕනෙ, තිබුන කිසිම ගොඩනැගිල්ලක් පාවිච්චි කරන්න බැරි තරමටම විනාශ වෙලා, අතරින් පතර යුද හමුදා කඳවුරු වල අපේ රණවිරුවො හැරුනාම  ගරාවැ‍ටුන පුදුකුඩුඉරිප්පු නගරෙ කිසිම කෙනෙක් නෑ,  එහෙම්පිටින්ම පුදුකුඩුඉරිප්පුව හොල්මන් නගරයක් වෙලා.

පුදුකුඩුඉරිප්පු සිට දුර
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
පුදුකුඩුඉරිප්පු ඉඳලා මුලතිවු වලට තියෙන කිලෝමීටර් 17ක විතර කොටසත් මේ වගේම තමයි, ත්‍රිවිද හමුදාවල බොහෝ සේනාංක මේ ප්‍රදේශයෙ ස්තානගතවෙලා තියෙනවා දකින්න පුලුවන්, සවස 3.00 විතර වෙනකොට මුලතිවු නගරයට සේන්දු වුනා,

සුන්දර මුලතිවු වෙරළ
මුලතිවු වෙරළේ ඉතිරි වූ යුද්දයක සිහිවටන
සංවර්ධනයේ පහස ලබා..
රාජකාරි වැඩ ඉවර උනාම මුලතිවු නගරෙ ටිකක් ඇවිදින්න හිතාගෙන හිටියත් වැඩ ඉවරවෙනකොට අඳුර වැටිල තිබුන නිසා නගරේ ඇවිදින්න පුලුවන්කමක් ලැබුනේ නෑ. මුල දවසේ රෑ නවතින්න තිබුනෙ මුලතිවු නගර ඉඳලා ටිකක් දුරින් තියෙන මුලතිව් වල ඉදිකිරීම් කටයුතු සිදුකරන සමගමක ඉන්ජිනේරුවන්ගේ නිළ නිවසක (මුලතිවු නගරෙ සංචාරක නවාතැන් නම් තාමත් නෑ)

නන්දිකඩාල් කලපුවේ පහල කොටස
මුලතිවු වල ගොඩක් ඉන්නෙ ධීවර වෘත්තිය ජීවිකාව කරගත්තු මිනිස්සු, ඒ වගේම මුලතිවු නගරෙටම තියෙන්නෙ එකම එක කාර් එකයි ලු! අනිත් ඔක්කොම වාහන නගරෙ සංවර්ධන වැඩ වලට පිටින් ගිය ඒවා ලු, ලංගම බස් සේවයක් නම් තියෙනව දකින්න තිබුනා, නමුත් බයිසිකල්, ත්‍රීවීල් සෑහෙන්න තිබුනා. ලඟදි පදිංචි කළ නගරයක් නිසා ලොකු ගොඩනැගිලි නම් නෑ, මුලතිව්වල හැම ගෙදරකටම අවුරුද්දක කාලයක් නොමිලේ විදුලිය දීලා තියෙනවා (මේ ගමන යනකොට මුලතිව් වල නැවත පදින්චි කරල මාස 3ක් විතර) මුලතිව් වල මදුරුවො නැද්ද කොහෙද, රෑ මදුරුවෙකුගෙ සද්දයක්වත් ඇහුනෙ නෑ.

***********************************************************************************************************

පහුවෙනිදා පාන්දර මුලතිවු වල පොඩි රවුමක් ගහන්න ලැබුනා, බයිසිකල් වලින් ඉස්කෝලෙ යන ළමයි නගරයට අමුතුම ලස්සනක් ඇතිකරනවා, ඒ වගෙම මුහුදු යන්න සූදනම් වෙන ධීවරයො පාන්දර ඇවිත් දැල් වේලනව දකින්න පුලුවන්, තවත් සමහර තැන් වල මාදැල් අදිනවා දකින්නත් තිබුනා, පාන්දර 9 විතර වෙනකොට සුන්දර මුලතිවු නගරයෙන් පිටත්වෙලා A34 පාරෙන් කොළඹ එන්න පිටත් වුනා....

Tuesday, December 14, 2010

දේශපාලනය සඳහා ප්‍රචාරන ක්‍රම

අද කාලේ හැටියට දේශපාලනේ කරන්න සමාජසේවය, උගත්කම, මනුස්සකම, හැදියාව වගේ දේවල් උවමනා නෑ! ඕනෙ ප්‍රසිද්දිය විතරයි. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ වැඩියෙන්ම ප්‍රසිද්ද කෙනාට මිසක් සමාජසේවය කල අයටම නෙමේ වගෙයි පේන්නේ! පහුගිය කාලෙ තිබුන ඡන්දයි ඒවයෙන් පත්වෙච්ච උදවියයි ගැන සලකලා බැලුවොත් ඕන ගොනෙකුට ඒක තේරුම්ගන්න පුලුවන්. ඒ නිසා කාලේ හැටියට ලේසියෙන්ම ප්‍රසිද්ද වෙන්න පුලුවන් ක්‍රමය කල්පනා කරල බැලුවා.... පොඩි පොඩි අයිඩියා ටිකකුත් ආවා. "මගේ සටහන් පොත" කියවන දේශපාලනේ කරන්න බලාපොරොත්තු වෙන අයගේ පහසුව පිණිස පළවෙනි එක කියන්නම්.

මේකයි වැඩේ, හරිම සිම්පල් ප්ලෑන් එකක්. මුලින්ම පොඩි දේ ලොකු කරලා කියන ටීවී චැනල් එකක් හොයාගන්න ඕනෙ. ඒක තමන් දේශපාලනේ කරන පක්ශයට විරුද්ද මත දරන, තමන්ගේ ප්‍රතිවාදී පක්ශෙට සපෝට් කරන චැනල් එකක් වෙන්නත් ඕනෙ. අන්තිමට, පොඩි දෙයක් වෙච්ච ගමන් උඩුබුරන Breaking news විකාශයක් ඒ චැනල් එකට තියෙන්නත් ඕනෙ. මේ ඔක්කොම හරිනන් ප්ලෑන් එකේ පළවෙනි පියවර ගොඩ.

මෙන්න දෙවෙනි පියවර, මුලින්ම තමන්ගෙ මොකක්හරි ‍රැස්වීමකට ඒ චැනල් එකේ මාද්‍යවේදියො ගෙන්නගන්න ඕනෙ. ඊට පස්සෙ ටිකක් විතර ඒ චැනල් එක, ඒකෙ ප්‍රවුර්ති විකාශය, වැඩසටහන් ගැන විවේචනය කරන්න ඕනෙ. නැත්තං ඒකෙ අවදානය නැතිවෙනවා. අන්තිමට මොකක්හරි පොඩි සිද්දියක් අල්ලගෙන ඒ චැනල් එකේ මාද්‍යවේදියෙක් ට (අනිවා.. කැමරාවක් අතේ තියෙන කෙනෙක් වෙන්න ඕනෙ) පොඩි සද්දයක් දැම්මනම් හරි. ඒත් මදි කියලා හිතෙනවනම් පොඩි පාරක් ගැහුවනම් ගොඩේ ගොඩ. ගහන පාරෙ සැර අනුව තමයි චැනල් එකෙන් මාකට් කරන කාලෙ අඩු වැඩි වෙන්නෙ. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ බලංඉන්න එක විතරයි. අර මාද්‍යවේදියට බලපෑම් කලා කියලා ටීවී චැනල් එකෙන් breaking news දාලා සිද්දිය වුන දවසෙ පැය 24ම කියවලා තවත් දවස් ගානක් යනකම්ම ගැහුව කෙනාගෙ නමයි පවුලෙ විස්තරයි තව දන්න නොදන්න ගොඩාක් විස්තරයි කියවයි.

නිකන් බොරුවට ටීවී චැනල් වල ඇඩ් දාන්න සල්ලි වියදම් කරනවට වඩා මේ වගේ සිම්පල් ප්ලෑන් එකක් අනුගමනය කලා නම් ඉවරනෙ! එක දවසින් රට පුරාම ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ඊට පස්සෙ තමන් බලාපොරොත්තු වෙන ඕනෙම පාලන ආයතනෙකට ජනතාවගේ ඡන්දයෙන්ම යන්නත් පුලුවන්.  Try කරලා බලන්න. හරිගියොත් අපිටත් කියන්න. වැඩේ වැරදුනොත් එන අතුරු ආබාධ වලට නම් මම වගකියන්නෙ නෑ..!

Thursday, February 25, 2010

රූපවාහිනී වැඩසටහන් වල පරිණාමය.... (මට මතක විදිහට)

 මට මතක තියෙන ඉතිහාසේ හැටියට නම් මුලින්ම මගේ හිත ගියේ ජාතික රූපවාහිනියෙ විකාශය වුන නරියගෙයි හාවගෙයි කාටූන් එකට. දෙබස් නැති වුනාට සෑහෙන්න විනෝදයක් ඒකෙ තිබුනා. ඊට පස්සෙ තමයි හා හා හරි හාවා, දොස්තර හොඳහිත වගේ කාටූන් රූපවාහිනියට ආවෙ. ඒ කාලෙ නම්, මතකයේ හැටියට ජාතික රූපවාහිනියයි ITN එකයි විතරයි තිබුනෙ. ඒ දෙකෙනුත් ජාතික රූපවාහිනියෙ වැඩසටහන් තමයි අපි වැඩියෙන්ම බැලුවෙ. අද කාලෙ කාටූන් වලට වඩා ඒ කාලෙ කාටූන් හරවත්. හැම එකකම මොකක්හරි ආදර්ශයක්  තිබුනා... ඒත් දැන් නම් කාටූන් වල ආදිපත්‍ය සිරසට ගිහින් වගේ! අද කාලෙ පොඩි එවුන් වැඩියෙන්ම ආස සිරසෙ සොනික්, ස්කූබි ඩූ, සූර පප්පා, අපි රජ ඉබ්බෝ වගේ කාටූන් වලට. ඒවයෙ ගුණාත්මක බව කෙසේ වෙතත් විනෝදය නම් උපරිමයෙන් තියෙන බව පේනවා.

 
වාර්තාමය වැඩසටහන් ගැන කතාකලොත් ඒ කාලෙ අපි වැඩියෙන්ම  බැලුවෙ හේම නලින්ගේ නමයයි පහ(ඒ කාලෙ කිව්වෙ මම දෙක වසරෙදි විතර). මට මතක විදිහට ඒක විකාශය වුනේ ඉරිදා ‍රැ 9.05ට. ගෙදර මොන වැඩ තිබුනත් පවුලෙ හැමෝම ඒක බලන්න නම් අමතක කළේ නෑ. තවත් වාර්තා වැඩසටහනක් තිබුනා "කදමල්ල" කියලා අරුණ් ඩයස් බණ්ඩාරනායක ඉදිරිපත් කරපු. මේ දෙකේ සමානකම් තිබුනත් හේම නලින් ගෙයි අරුණ් ඩයස්ගෙයි ඉදිරිපත් කිරීමේ ශෛලියන් වෙනස් නිසා ඒ දෙකට අපි වෙන්වෙන්ව ඇලුම් කලා. මේ දේකේම අඩුව පුරවන්න අද තියෙන්නෙ දඩිබිඩිස්ගේ ටෙලි කොළම "අටපට්ටම" තමයි... දොරමඩලාව, මහා සිංහළේ වංශකථාව වගේ වැදගත් වැඩසටහන් තිබුනත් ඒවා විකාශය වෙන්නෙ රෑ දහයත් පහු වෙලානෙ.. ඒ නිසා ගොඩාක් වෙලාවට බලන්න බැරි වෙනවා.


ටෙලිනාට්‍ය ගත්තොත්  අදත් මම වැඩියෙන්ම කැමති නාට්‍ය ITN එකේ "කෝපි කඩේ". බොහෝම රසවත් ඒ වගේම හරවත් නාට්‍යක්. මතක විදිහට මේකට ගහන්න නම් වෙන එකක් තිබුනෙ නැති තරම්. ඳඬුබස්නාමානය වගේ නාට්‍ය ගෙදර අය බැලුවට මම නම් ඒ කාලෙ ඒවට වැඩිය ආස නෑ. හඬකවපු විදේශීය නාට්‍යක් විදිහට තිබුනෙ ජාතික රූපවාහිණියෙ ඔෂීන් තමයි. ඒත් දැන් නම් ඉතින් ඔය සිරසෙ, ස්වර්ණවාහිනියෙ හඬ කවපුවා ඕනතරම් තියෙන්නේ!! ප්‍රශ්නෙ තියෙන්නෙ ඒවා හෙදර හැමෝටම ඒකට ඉඳන් බලන්න පුලුවන්ද කියන එක... අද වගේ දවස ගානෙ විකාශය වෙන මෙගා නාට්‍ය ඒ දවස් වල තිබුන වගක් නම් මතක නෑ.

ඒ කාලෙ ප්‍රවුර්ති ගැන නම් වැඩි යමක් කියන්න මම දන්නෙ නෑ මොකද ඒ කාලෙ අපිට නිවුස් එච්චර වැදගත් නෑ නෙ...! ඒත් අද ඒ ගැන කතා කලොත් කියන්න තියෙන්නෙ ස්වර්ණවාහිනියෙ "ලයිව් ඇට් එයිට්" සහ දෙරණේ "අද දෙරණ" අනිත් ඒවට වඩා ඉදිරියෙන් ඉන්නවා කියන එක. ඒත් වැඩියෙන්ම ක්‍රියාකාරී ප්‍රවුර්ති විකාශය තියෙන්නෙ සිරසට. සිරසෙ "නිවුස් ෆස්ට්" වගේම සෑම රාජ්‍ය නාළිකාවකම ප්‍රවුර්ති විකාශ වල දැඩි අසමතුලිත බවක් දකින්න තියෙනවා.

සංශිප්තයක් විදිහට ගත්තාම පොදුවේ වැඩිපුරම හරවත් වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙන්නේ රාජ්‍ය නාලිකා කියලා කියන්න පුලුවන්.  එහෙම කියන්නෙ ඒවා ගොඩක් පරණ නාළිකා නිසා නෙමෙයි, ඒවයෙ විකාශය කළ වැඩසටහන් වල ගුණාත්මක බව නිසා. සිරසෙ කාලෙකට ඉස්සෙල්ලා විකාශය වුන "අපි නොදන්න ලයිව්" එතරම් හරයක් නැති වුනත් බොහෝ දෙනෙක්ගේ හිත් දිනාගත්ත වැඩසටහනක්. අද කාලයේ trend එකට ගැළපෙන වැඩසටහනක් කියන්න පුලුවන්. නමුත් සමහර පෞද්ගලික නාළිකා වල ටෙළි නාට්‍ය ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ. මොකද කිව්වොත් ඒවයෙ තියෙන සමහර දේවල් සමාජයට කෙලින්ම බලපෑම් ඇති කරන නිසා.

දැන් නම් ඉතින් එක වැඩසටහනක් එපා වුනාම චැනල් එක මාරු කරලා වෙන එකක් බලන්න පුලුවන් තරම් චැනල් සෑහෙන්න තියෙනවනේ. නමුත් මම නම් තාමත් ආස අදට වඩා ඉස්සර විකාශය වුන වැඩසටහන් වලට. ඒත් ඉතින් කාලේ වෙනස් නෙ!. ඉස්සරහට තව මොනවගේ වෙනස්කම් වෙයිද දන්නෙ නෑ.. මම නම් කියන්නෙ රටට ගැළපෙන විදිහෙ වැඩසටහන් තවමත් හරියට නෑ කියලා. බලමුකෝ තව ටික කාලෙකින් අපේ නාලිකා මොනවගේ වෙනස්කම් වලට ලක්වෙයිද කියලා....

Sunday, February 21, 2010

උගතුන් බුද්ධිමතුන් වේ ද?

අප අතීතයේ සිටම බුද්ධිමතුන් යැයි අසා තිබුනේ සෑමවිටම උගත් පිරිසකට ය. නමුත් වර්ථමානයේ එම උගත් බුද්ධිමත් පිරිස පිළිඔඳ සමානතාවය නොගැලපෙන අවස්ථා දකින්නට තිබේ. මේ ලිපිය ලියන්නට සිතුනේ එවැනි නොගැලපේ යැයි සිතෙන අවස්තාවක් පිලිඔඳව දැනගන්නට ලැබුනු නිසා ය. පසුගිය දිනක ඉශාන් තිලිණගේ "මගේ සටහන්" පි‍ටුවේ පළවූ "බුද්ධිමතුන් + පිස්සන් = ???????????" ලිපිය කියැවීමෙන් පසු හා එයට ලැබී තිබෙන කමෙන්‍ටු සැලකූ විට මේ සම්බන්ධය බිඳීයන අවස්ථාවන් දැකගත හැකිය.

අද ශ්‍රී ලංකාවේ පවතින සමාජ ක්‍රමය තුළ බොහෝ විට උගතුන් යැයි සම්මත කර තිබෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් කෙළ පැමිණි, රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනගත් පිරිසකට ය. විශ්ව විද්‍යාලයෙ කුමන අංශයේ ඉගෙනුම ලැබුවද ලංකාවෙ කැම්පස් එකක ඉගෙනගන්නා අයෙක් නම් සමාජයේ ඔහු ඉතා උසස් පුද්ගලයෙකි, අපේ භාශාවෙන් නම් පොරකි, නමුත් එකී පිරිසට සමාජයෙන් තමන්ට ලැබෙන ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකිව ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙයට හොඳම උදාහරණය නවකවදය පිළිඔඳව පළවූ ඉහත කී ලිපියයි. නවක වදය දෙනු ලබන්නේ ද ඒ නිසා පීඩාවට පත්වන්නේ ද ඉහත මා සඳහන් කළ පරිදී සමාජයේ "පොරවල්" ලෙස හැඳින්වෙන විශ්ව විද්‍යාලවලම ඉගෙනගන්නා අය යි. එසේ නම් ඔවුන්(එකී නවකවදය දෙන පිරිස) උගතුන් බව පිළිගත හැක. නමුත් බුද්ධිමතුන් වන්නෙ ද..?

කෙසේ වෙතත් සැමවිටම බුද්ධිමතුන් වන්නෙ උගත්කමෙන් ඉහළටම ගිය අය දැයි සළකා බැලිය යුතු ය. පොදුවේ අප රටේ අද තත්වය සලකා බැලීමේදී බොහෝ විට වැඩ වර්ජන වලට පෙළඔන්නේ උගත් පිරිස් ය. වෛද්‍ය සේවයේ නියුතු පිරිස් මෙයට හොඳම උදාහරණය වේ. කෙතරම් රෝගීන් පීඩාවට පත් වුවද, මියගියද ඔවුන්ට කම් නැත. තමන්ගේ සුළු අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් මෙලෙස රෝගීන් අසරණ කරති. තමන් "උසස්" බව එවැනි පිරිස් සිතනවාදැයි මා නොදනිමි. නමුත් වෛද්‍යවරුන් වැනි උගත් පිරිසක් සිදුකරන මෙවැනි දේ බුද්ධිමත් ක්‍රියා ලෙස සැලකිය හැකිද? එසේ නම් උගතුන් ලෙස සැලකිය හැකි වෛද්‍යවරුන් බුද්ධිමතුන් වන්නෙ ද..? (මෙහි සඳහන් කරන්නේ වැඩවර්ජන සිදුකරමින් අසරන රෝගීන් පීඩාවට පත්කරන වෛද්‍යවරුන් පිලිඔඳව ය. එවැනි පහත් ක්‍රියා නොකරන රොගීන්ට සිය උපරිමයෙන් ප්‍රථිකාර කරන වෛදයවරුන් ද සමාජයේ සිටින බව අප අමතක නොකරමු)

තවද ආචාර්ය උපාධි හිමි ඇතම් අයගේ හැසිරීම ද මේ පිලිඔඳව සාකච්ඡා කිරීමේදී අමතක කළ නොහැක. නම ඉදිරියට "ආචාර්ය" යන ගෞරව නාමය යෙදුවද එවැනි ඇතම් අයගේ ක්‍රියා බුද්ධිමත් සමාජයක් කිසිලෙසකින්වත් අනුමත කරන්නේ නැත. එසේ නම් සමාජයේ ආචාර්යවරුන් ලෙස සැලකෙන එවැනි අය බුද්ධිමත් වේ ද...?

මෙහි දක්වා ඇත්තේ උදාහරණ කීපයක් පමණි. දිනපතා පළවන පුවත්පත් වල ඉහත සම්බන්ධය බිඳීයන අවස්ථා ඕනෑතරම් දැකගත හැකිය. එබැවින් උගතුන් ලෙස සලකන සැම අයෙක්ම බුද්ධිමත් අයෙක් දැයි නැවතත් සලකා බැලියයුතු නොවේ ද...?

පසුව ලියමි - මෙය කිසිඳු අයෙකුට හෝ වෘතීයකට අපහාස කිරීමේ අරමුණින් ලියූවක් නොවේ. මේ මගින් කිසිවෙකුට හෝ කිසිඳු වෘතීයකට අපහාසයක්, අගෞරවයක් සිදුවූයේ නම් ඒ පිලිඔඳව කණගා‍ටුව ප්‍රකාශ කරමි. මේ පිලිඔඳව ඔබේ අදහසද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමි.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...