Sunday, May 29, 2011

පරන්තන් සිට සුන්දර මුලතිවු නගරයට ගියෙමි

මීට ටික දවසකට ඉස්සෙල්ලා මුලතිවු, පුදුකුඩුඉරිප්පු පැත්තෙ චාරිකාවක් යන්න කණා චාන්ස් එකක් සෙට් වුනා, ඒ ගමනේ අත්දැකීම් අනුවයි මේ ලිපිය ලියන්නෙ,

ගමන පටන්ගත්තෙ පහුගිය 12 වෙනිදා පාන්දර 5ට විතර, දීර්ග ගමනකට පස්සෙ දවල් 10 විතර වෙනකොට ඕමන්තේ යුද හමුදා මුරපොලට යන්න පුලුවන් උනා, එතනින් ලියාපදින්චි වෙලා මාන්කුලම්, කොකාවිල්, ඉරනමඩු පහුකරලා දවල් 11.30 විතර වෙනකොට කිලිනොච්චියට යන්න පුලුවන් උනා. 2009 දෙසැම්බර් වල යාපනේ යද්දි තිබුන කිලිනොච්චි නගරය මේ වෙනකොට සැහෙන්න දියුනු වෙලා, ලොකු වෙනසක් දකින්න තිබුනා.

කිලිනොච්චියෙ ඉඳලා කිලෝමීටර් 11ක් විතර ගමන්කළාම පරන්තන් නගරයට යන්න පුලුවන්, ඒ වෙනකල් A9 පාරෙ ගමන්කල අපි, පරන්තන් වලින් දකුණට හැරිලා A35 පාරෙ යන්න වුනා... A35 පරන්තන්-මුලතිවු ප්‍රදාන පාරක් උනාට තාම තාර දාලා නෑ. යුද්දයෙන් පස්සෙ මේ පාර දෙපැත්තෙ ප්‍රදේශ වල ජනතාව පදින්චි කරලා තවමත් මාස 4ක් විතර නිසා මේ ප්‍රදේශ තවමත් සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත්වෙලා නෑ.

තාර නැති A32 පරන්තන් මුලතිවු මාර්ගය..
ටිකෙන් ටික මිනිස්සු ඉන්න ප්‍රදේශ පහුකරලා තවමත් හරියට බිම්බෝම්බ ඉවත්කරලා නැති යුදහමුදාව පාලනය කරන ප්‍රදේශ හරහා ඉදිරියට ගියා, එක්තරා යුදහමුදා මුරපොලකදී (තැන කොහෙද කියලා මතක නෑ) අපෙ අවසර පත්‍ර පරික්ශා කරලා ඉදිරියට යන්න වුනා, මෙතැනින් එහාට හමුදාව යටතේ පවතින නගර වලට යන්න ජාතික ආරක්ශක අමාත්‍යාංශෙන් අවසර අරන් තියෙන්න ඕනෙ. යුද්දයේ අන්තිම දවස් වල LTTEයෙන් කට්ටපරිච්චාන් වැව් බැම්ම පිපිරෙව්වාම ඒ වැවේ වතුර ඇවිත් හිරවෙලා පවතින පොඩි ප්‍රදේශයක් තාමත් තියෙනවා, A35 පාර යන්නෙ ඒ උඩින්, නමුත් මේ ටිකෙ මීටර් 200ක් විතර වතුරෙන් යටවෙලා නිසා ඒ වෙනුවට ඊට උඩින් අලුත් පාරක් කපලා තියෙනවා. අපිටත් යන්න වුනේ ඒ අලුත් පාරෙන්.

මේ අතරමග යුද්දයෙන් ඉතිරිවෙච්ච සළකුණු සෑහෙන්න තියෙනවා, අතඇරලා දාපු වාහන, උණ්ඩ සලකුණු වලින් පිරුනු ගොඩනැගිලි වගේ තවත් බොහෝ දේවල්, ඒ මදිවට බිම් බෝම්බ..

තැන තැන විසිරුනු දිරාපත්වෙමින් පවතින වාහන
මේවැනි වාහන බොහෝමයක් මුලතිවු මාර්ගය දෙපස දිරාපත් වෙමින් පවතී.
මේ යායේ බයිසිකල් කොපමන ඇත්ද?
ඉදිරියට යන්න යන්න තිබුන ගොඩනැගිලි වලට වෙලා තිබුන හානිය වැඩියි, ගොඩාක් ගෙවල්, පල්ලි වගේ ගොඩනැගිලි වල ඉතුරු වෙලා තිබුන බිත්ති කිසිම විදිහකට නැවත පාවිච්චි කරන්න බැරිවෙන තරමටම විනාශ වෙලා, කෙටියෙන්ම කිව්වොත් මේ ප්‍රදේශයේ තියෙන සියලුම ගොඩනැගිලි නැවත මුල ඉඳල හදන්න වෙන තරමටම විනාශ වෙලා. ඔහොම ගිහින් පුදුකුඩුඉරිප්පු නගරයට ආවා...

ඉවරවුන යුද්දයෙන් වෙච්ච වැඩිම හානිය වෙලා තියෙන්නෙ පුදුකුඩුඉරිප්පු නගරයට වෙන්න ඕනෙ, තිබුන කිසිම ගොඩනැගිල්ලක් පාවිච්චි කරන්න බැරි තරමටම විනාශ වෙලා, අතරින් පතර යුද හමුදා කඳවුරු වල අපේ රණවිරුවො හැරුනාම  ගරාවැ‍ටුන පුදුකුඩුඉරිප්පු නගරෙ කිසිම කෙනෙක් නෑ,  එහෙම්පිටින්ම පුදුකුඩුඉරිප්පුව හොල්මන් නගරයක් වෙලා.

පුදුකුඩුඉරිප්පු සිට දුර
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
ගරාවැ‍ටුනු පුදුකුඩුඉරිප්පුවේ ගොඩනැගිලි
පුදුකුඩුඉරිප්පු ඉඳලා මුලතිවු වලට තියෙන කිලෝමීටර් 17ක විතර කොටසත් මේ වගේම තමයි, ත්‍රිවිද හමුදාවල බොහෝ සේනාංක මේ ප්‍රදේශයෙ ස්තානගතවෙලා තියෙනවා දකින්න පුලුවන්, සවස 3.00 විතර වෙනකොට මුලතිවු නගරයට සේන්දු වුනා,

සුන්දර මුලතිවු වෙරළ
මුලතිවු වෙරළේ ඉතිරි වූ යුද්දයක සිහිවටන
සංවර්ධනයේ පහස ලබා..
රාජකාරි වැඩ ඉවර උනාම මුලතිවු නගරෙ ටිකක් ඇවිදින්න හිතාගෙන හිටියත් වැඩ ඉවරවෙනකොට අඳුර වැටිල තිබුන නිසා නගරේ ඇවිදින්න පුලුවන්කමක් ලැබුනේ නෑ. මුල දවසේ රෑ නවතින්න තිබුනෙ මුලතිවු නගර ඉඳලා ටිකක් දුරින් තියෙන මුලතිව් වල ඉදිකිරීම් කටයුතු සිදුකරන සමගමක ඉන්ජිනේරුවන්ගේ නිළ නිවසක (මුලතිවු නගරෙ සංචාරක නවාතැන් නම් තාමත් නෑ)

නන්දිකඩාල් කලපුවේ පහල කොටස
මුලතිවු වල ගොඩක් ඉන්නෙ ධීවර වෘත්තිය ජීවිකාව කරගත්තු මිනිස්සු, ඒ වගේම මුලතිවු නගරෙටම තියෙන්නෙ එකම එක කාර් එකයි ලු! අනිත් ඔක්කොම වාහන නගරෙ සංවර්ධන වැඩ වලට පිටින් ගිය ඒවා ලු, ලංගම බස් සේවයක් නම් තියෙනව දකින්න තිබුනා, නමුත් බයිසිකල්, ත්‍රීවීල් සෑහෙන්න තිබුනා. ලඟදි පදිංචි කළ නගරයක් නිසා ලොකු ගොඩනැගිලි නම් නෑ, මුලතිව්වල හැම ගෙදරකටම අවුරුද්දක කාලයක් නොමිලේ විදුලිය දීලා තියෙනවා (මේ ගමන යනකොට මුලතිව් වල නැවත පදින්චි කරල මාස 3ක් විතර) මුලතිව් වල මදුරුවො නැද්ද කොහෙද, රෑ මදුරුවෙකුගෙ සද්දයක්වත් ඇහුනෙ නෑ.

***********************************************************************************************************

පහුවෙනිදා පාන්දර මුලතිවු වල පොඩි රවුමක් ගහන්න ලැබුනා, බයිසිකල් වලින් ඉස්කෝලෙ යන ළමයි නගරයට අමුතුම ලස්සනක් ඇතිකරනවා, ඒ වගෙම මුහුදු යන්න සූදනම් වෙන ධීවරයො පාන්දර ඇවිත් දැල් වේලනව දකින්න පුලුවන්, තවත් සමහර තැන් වල මාදැල් අදිනවා දකින්නත් තිබුනා, පාන්දර 9 විතර වෙනකොට සුන්දර මුලතිවු නගරයෙන් පිටත්වෙලා A34 පාරෙන් කොළඹ එන්න පිටත් වුනා....

8 comments:

  1. මේ සටහන දුර රටක ඉන්න මට ඉතාමත් වටිනවා. කොහෙ හිටියත් උපන් රටේ තොරතුරු ටිකක් සැපයුවාට ඔබට බොහොම ස්තුතියි. මා වැන්නන්ගේ පහසුව තකා තවත් විස්තර සහිතව තවත් සටහන් ඉදිරිපත් කරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  2. @සරත් ගුණතුංග - ඔබේ ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි, හැකි සෑම අවස්ථාවකම සංචාරයන් පිලිඹඳව ලිපි ලියන්නම්.

    ReplyDelete
  3. විශේශ අවසරයක් ඔනෙද මේ පැත්තෙ යන්න?

    ReplyDelete
  4. @ඉන්දික උපශාන්ත - මම දන්න විදිහට A34 (මාන්කුලම් - මුලතිවු) පාරෙන් මුලතිවු යනවනම් අවසර ගන්න ඕනෙ නෑ, ඒත් A35 පාරෙ යනවනම් පුදුකුඩුඉරිප්පු හරහා යන්න විශේෂයෙන් අවසර ගන්න වෙනවා.

    ReplyDelete
  5. gd wrk bro,,,
    kp it up..:DDDDDD

    ReplyDelete
  6. @Widuramina - Thank u bro, happy 2 see your comment here..

    ReplyDelete
  7. කලාතුරකින් හම්බෙන chance එකක් :D . තාත්තට වැඳපන් ගිහින් ;)

    ReplyDelete
  8. @ඉශාන් - ඒ මොකටද?? කමෙන්ට් එකට තැන්ක්යූ වේවා..

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...